පොහොර නැවට වගකිව යුත්තේ ඇමති මිස මං නොවේ – ශෂේන්ද්‍ර රාජපක්ෂ 

අප මිරිකෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් ඉක්මනටම මිදීමට නම් රටේ සියලු ජනතාවගේ සහයෝගය ඒ සඳහා අපට අවශ්‍යය. IMF ණය ගැනීම හරහා ඉක්මනින්ම නැවත නිවරැදි තත්ත්වයට ලංකාව පත්කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම හා යුතුකමකි. රට ඉක්මනින්ම නිවරැදි දිශානතියකට ගෙනයාමට නම් සංවර්ධනයේ ඉලක්ක සපුරා ගැනීමට නම් නව ඇමැති මණ්ඩලය හා රාජ්‍ය ඇමැතිවරු හරහා රටේ කටයුතු විධිමත් කළ යුතුය.

සමහර පිරිස් රාජ්‍ය ඇමැතිවරුන්ගේ පත්කිරීම් සම්බන්ධවද විවේචන එල්ල කරන බවක් අපට දැකගත හැකිවිය. රාජ්‍ය ඇමැතිවරු විශාල පිරිසක් පත්කළා නම් එම චෝදනාවට අපටත් එකඟ විය හැකිව තිබුණි. එහෙත් දැනට පත්කර තිබෙන්නේ අත්‍යවශ්‍යම පිරිස පමණි. කැබිනට් අමාත්‍යවරුන්ට තමන්ගේ රාජකාරි හරිහැටි ඉටු කිරීමට නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහය අත්‍යවශ්‍ය බව මාගේ හැඟීමයි. විෂයන් බෙදා ඒ වැඩකටයුතු පැවරීමෙන් විශාල සේවයක් අපට ජනතාවට සිදුකළ හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා සමයේත් එම සේවාව රාජ්‍ය ඇමැතිවරුන් අතින් ඉටුවිය. රටේ දියුණු කළ යුතු අත්‍යවශ්‍යම කාරණා පසුගිය කාලයේ අතපසු වූ අවස්ථා අපි දුටුවෙමු. එවැනි තැන් වල පසු විපරමක් කළ විට අපට පෙනී ගියේ එවැනි තැන්වල වගකීම් ගැනීමට සමහර ඇමැති පත් කිරීම් සිදුකර නොමැති බවය. මා පසුගිය කාලය නියෝජනය කළ කෘෂිකර්ම රාජ්‍ය ආමාත්‍යංශය ගෙන බැලුවත් අපට සමහර වගකීම් පැවරීම හරහා එහි කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වූ බව පැහැදිලි වන කාරණාවකි.

යමක් අසාර්ථක වූ තාවකාලිකව පත්වන දේශපාලකයාට ඇඟිල්ල දිගු කරනවා විනා අවුරුදු ගාණක් එම කටයුතු මෙහෙයවන රාජ්‍ය නිලධාරියාට ඇඟිල්ල දිගු කරන්නේ නැත. එම නිලධාරීන්ගේ සිදුවන සමහර අපතපසු වීම් වල වගකීමද දේශපාලකයාට බාර ගන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. බදු ගෙවන ජනතාවගෙන් පඩි ගන්නා එම නිලධාරීන්ට අපිට සේම වගකීමක් ඇති බව අප වටහා ගත යුතුය. එම නිසා කියන්නා කෙසේ කීවත් ප්‍රධාන විෂයන් 30ක් සඳහා කැබිනට් අමාත්‍යවරු පත්කර තවත් 40කට රාජ්‍ය ඇමැති ධූර ප්‍රදානය කරන්නේ රටේ ගමන සාර්ථකව ඉදිරියට ගෙනයාම අවශ්‍ය නිසාය. කෘෂිකර්ම, අධ්‍යාපන වැනි අමාත්‍යාංශ සඳහා තනි ඇමතිවරයකුට කටයුතු සියල්ල සිදු කිරීමට නොහැක. ඒ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයකුට තනිවම කළ නොහැකි නිසා සමහර අවස්ථාවල දෙදෙනකු යොදවන්නේද එම නිසාය.

දේශපාලනයේදී ඕනෑවට වඩා දේශපාලන සඟයන් විශ්වාස කිරීම නොකළ යුතු දෙයකි. ගෝඨාභය රාජපක්ෂට සිදුවූයේ එවැනි ආකාර දෙයකි. එතුමා විශ්වාස කළ සමහරු අතරමගදී එතුමා අතහැර දැමූහ. දේශපාලනයේදී අප සෑම විටම මධ්‍යම ප්‍රතිපදාවට අවතීර්ණ විය යුතුය. ගෝඨාභය ජනපතිවරයාට රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඉහළ දැනුමක් තිබුණත් දේශපාලනය පිළිබඳ තිබූ අත්දැකීම් ප්‍රමාණවත් නොවීම මත නියමිත කාලයට කලින් ධුරයෙන් ඉවත්වීමට සිදුවිය.

පසුගිය කාලයේ චීන පොහොර නැව ලංකාවට ගෙන ඒම පිළිබඳ ප්‍රශ්නයේදී හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා නොබෝදා කළ ප්‍රකාශයක් මත සමහරු මා දෙසට ඇඟිල්ල දිගු කිරීමට පටන් ගෙන තිබේ.

පොහොර විෂය මට රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලැබෙන්නේ ජුලි මාසේ 08 වැනිදාය. කාබනික පොහොර නිෂ්පාදන හා ප්‍රවර්ධන සැපැයුම් නියාමන ලෙස වෙනස් වී ලැබෙන්නේ එදිනය. ඊට පෙර මට අයිතිව තිබූ විෂය කේෂ්ත්‍රය වන්නේ වී හා ධාන්‍ය, එළවළු, පලතුරුය.

කෘෂිකර්ම ඇමැතිවරයා විසින් කාබනික පොහොර හා ස්වභාවික වාණිජ හා ශාඛ පෝෂක ආනයනය කිරීම 2021/22 මහ කන්නය ලෙස සංදේශ අටක FE/43/2021 මගින් අමාත්‍ය මණ්ඩලය වෙත අනුමැතිය සඳහා යොමු කරන ලදී. සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ 2021.05.31 දිනය. ඊට අනුමැතිය ලැබී තිබුණේ ජුනි මස 01 වැනිදාය. එය තාක්ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය ලබාගැනීම සිදු වී තිබුණේ ජුනි 07 වැනිදාය. එම තීරණය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබුණේ ජුනි මස 19 වැනිදාය. එය පූර්ව ලංසු ලේඛන විවෘත කරන්නේ ජුලි 05 වැනිදාය. එදාත් මම විෂයට අදාළ අමාත්‍යවරයා නොවෙමි. ජුලි 08 වැනිදා මට විෂය හිමිවූවායින් පසු ලංසු යෝජනා කැඳවීම, ලංසු විවෘත කිරීම සිදුවිය. පොහොර වල ප්‍රමිතිය කුමක්ද යන කාරණාව අමාත්‍යවරයා ලෙස මට අයිති කාරණාවක් නොවේ. එය සොයා බැලිය යුත්තේ ඒ පිළිබඳ තාක්ෂණික දැනුම තිබෙන කණ්ඩායමක් මගිනි. එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් පිරිස දැන කියා ගැනීමද මෙහිදී වැදගත්ය.

ලංකාවට ගෙන එන පොහොර කුමන ප්‍රමිතියකින් යුතුදැයි කාරණය තීරණය කළෝ ඔවුහුය. එහිදී අමාත්‍යවරයා ලෙස මට දෝෂාරෝපණය කිරීමෙන් පලක් වන්නේ නැත. එසේම විෂය භාර අමාත්‍යවරයා මගින් පොහොර මිලදී ගැනීමේ විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක්ද පත්කරන ලදී.

අපේ රටට ගැළපෙන කාබනික පොහොර මේ යැයි තීරණය කළ යුතුව තිබුණේ ඔවුන්ය. ඉන් පසු චීන සමාගමක් හරහා මෙම පොහොර නැව ගෙන්වූ පසු කොළඹ විශ්ව විද්‍යාලය මගින් කළ පර්​ෙ‌ය්ෂණයෙන් කියවුණේ මෙහි ක්ෂුද්‍ර ජීවීන් සිටින බවය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්තාවෙන් කියවුණේ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් මෙහි හමුවී නොමැති බවය.

නැව පැමිණීමෙන් පසු ගෙවීම් කිරීම අනිවාර්යයෙන් අප කළ යුතුය. එය හොඳ නැති බව හෙළිවන්නේ ඉන් පසුවය. එසේනම් කළ යුත්තේ මේ කමිටුව හොඳ නැති නම් වෙන කමිටුවක් මගින් නිර්දේශ ලබා ගෙන ප්‍රමිතියෙන් යුතු පොහොර මෙරටට ගෙන්වීමය. පොහොර නැව කලින් අවස්ථාවේ හරහා යැවීම මත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රශ්න ඇතිවන නිසා ඊට අනුකූල ලෙස හැසිරීමට අපට සිදුවිය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට පැමිණි යෝජනාව වූයේ පොහොර නැවට අදාළ ගෙවීම සිදුකර තත්ත්වය සාමකාමී කර ගන්නා ලෙසයි. කැබිනට් මණ්ඩලයේ අවසර ඇතිව එම ගෙවීම සිදුවිය. අපට චෝදනා කරන කිසිවකු ලංකාවට ගැළපෙන පොහොර කුමක්දැයි නිර්දේශ කරන්නේ නැත. කිසිම ක්ෂුද්‍ර ජීවියකු නොමැති පොහොරක් ගෙන්වීමට කිසිවෙක් හෝ අපේක්ෂා කරනවනම් එය සිදුවන්නේ නැති බව අප වටහා ගත යුතුය. බටර් මාමයිට් වැනි කිසිම ආහාරයක් ලංකාවට ගෙන්වීමට සිදුවන්නේ නැත.

අපේ රටට අපේ පොළොවට අපේ සතා සීපාවට ගැළපෙන දේ තෝරා ගැනීම කළ යුත්තේ තාක්ෂණ කමිටුවය. එහෙත් එය වරද්දා ගත්තේ කොතනදැයි දන්නෝ ඔවුහුමය. අප පොහොර නැවට ගෙවූ මුදලට අදාළ වෙනත් කාබනික පොහොර නැවක් අපට ලබා දීමට එම සමාගම බැඳී සිටී. අප පොහොර නැවට ගෙවූ මුදල කිසිසේත්ම වතුරේ යෑමට ඉඩ නොදීමේ වගකීම පැවරී තිබෙන්නේද අපටමය. අප යම් බඩුවක් කඩෙන් ඇනවුම් කළ විට එය හොඳ නැති නම් එයට වෙන එකක් මාරු කර ගැනීමේ හැකියාවද අපට තිබිය යුතුය. දැන් සිදු වී තිබෙන්නේ පොහොර නැවට මුදල් ගෙවා තිබෙන නිසා ඒ වෙනුවට ප්‍රමිතියෙන් යුතු පොහොර නැවක් ලබා ගැනීමයි.

කාබනික පොහොර ප්‍රතිපත්තියට එක රැයෙන් යෑමට ආණ්ඩුව ගත් තීරණය බරපතළ තීරණයකි. එය අඩුම කරමින් කන්න තුනකින් පසුව ක්‍රියාත්මක කිරීමට තිබූ තීරණයකි. දැනටත් කාබනික පොහොර නිෂ්පාදකයන් ගණනාවක් ලංකාවට පොහොර ලබා දීමේ කටයුත්තේ පෙරමුණ ගෙන හිඳී. අප කාබනික ප්‍රතිපත්තියට ක්‍රමානුකූලව අවතීර්ණ වූවානම් කිසි දිනක අද මේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට රට ඇද වැටෙන්නේ නැත.

ඉදිරි මහ කන්නය වන තෙක් මේ තත්ත්වය ඉදිරියට ගෙන යාමට අපට හැකි වූවා නම් කාබනික පොහොරින් ගොවිතැන් කිරීම සියයට 100 ක් සාර්ථක වනු ඇත. දැනටත් ගෙනා රසායනික පොහොර ඉතුරු වීමෙන් පෙනී යන්නේ කාබනික ගොවිතැනට ගොවියන්ට යම් උනන්දුවක් ඇති වී තිබෙන බවය. එන එන කෘමියාට අවශ්‍ය රසායනික පොහොර වර්ග තිබුණත් කාබනික පොහොර තුළ එවැනි තත්ත්වයක් නැත. 1965 වන තෙක් අපේ රටේ කාබනික පොහොර වලින් ගොවිතැන් කළා නම් දැන් එම තත්ත්වය බැරි වීමට හේතුවක් නැත.

හරිත විප්ලවයෙන් අස්වැන්න වැඩිකර ගැනීමට රසායනික පොහොර ගෙන ආවත් පෙරදිග ධාන්‍යගාරය වූ ශ්‍රී ලංකාවේ වගා කටයුතු කළේ රසායනික පොහොර තිබී නොවේ. ලංකාවේ වගා කටයුතු කරන බහුතරයක් විකිණීමට සහ නිවසේ කෑමට වෙන වෙනම වගා කටයුතු කරති. එයින් කියවෙන්නේ හැමෝම වස විස කෑමට කැමැති නැති වුවත් වාණිජකරණය උදෙසා රසායනික පොහොරෙන් වගා කරන බවය.

ලංකාවේ කාබනික ප්‍රතිපත්තිය දෙස මුළු ලෝකයම බලා සිටියත් රටේ අවාසනාවකට එය යථාර්ථයක් කර ගැනීමට අපට නොහැකිය. කාබනික පොහොර සංකල්පය ඵල ගැන්වීම කඩාකප්පල් කිරීම සඳහා රසායනික පොහොර ගෙන්වන සමාගම් විශාල මහන්සියක් ගත් බව අප සැවොම දන්නා කාරණාවකි. එහෙත් තවමත් අපේ අපේක්ෂාව වස විසෙන් තොර ජන සමාජයක් අනාගත පරපුරට නිර්මාණය කර දීමයි.

රටේ ජනතාව වෙනුවෙන් එක අරමුණකින් වැඩ කිරීමේ ප්‍රතිපත්තියකට අපි දැන් එළඹ සිටින්නෙමු. යම් කිසි විදියකින් පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට හා රටේ ජනතාවට අහිතකර යමක් වේ නම් ඒ වෙනුවෙන් එක හෙළා විරුද්ධ වීමේ හැකියාව අප සතුය. සමහර දේශපාලන නියෝජිතයෝ පක්ෂ ප්‍රතිපත්තිය සමඟ විටින් විට එකඟ වෙති. විටෙක විරසක වෙති. විමල්, ඩයස් ඇතුළු කණ්ඩායමේ හැසිරීම අප මේ මොහොතේ තේරුම් ගත යුත්තේ ඒ ආකාරයටය.

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් ගැන සමහරු කතා කරති. එහෙත් අප තේරුම් ගත යුත්තේ අරගලකරුවන්ද සාමකාමීව උද්ඝෝෂණය කළා නොව ප්‍රචණ්ඩව හැසිරුණු බවය. ජනාධිපති කාර්යාලය, ජනාධිපති කාර්යාලය අල්ලා ගනිමින් ලෝකයමට ලජ්ජාවක් වෙමින් අරගලකරුවන් හැසිරුණු ආකාරය අපට අනුමත කළ හැකිද? අරගලකරුවන්ට කවුරු හෝ පහර දෙනවා නම් වැරැදිය. එහෙත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා විනා වෙනත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවන්නේ නැත.

දැනට මේ නිර්මාණය වී තිබෙන ආණ්ඩුව හොඳම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස අපි විශ්වාස කරමු. එයට හේතුව එක ආසනයක් තිබෙන රනිල් ජනපති වන විට ආසන තුනක් තිබෙන දිනේෂ් අගමැතිවීමය.

මට ඇමැතිකමක් දීම මුට්ටිය දා බැලීමක් ලෙස සමහරු අර්ථකථනය කරති. එහෙත් මා කාගේවත් මුට්ටියක් වීමට සූදානමක් නැති බවද පැවසිය යුතුය. මටද පෞද්ගලික දේශපාලන න්‍යායක් හා වැඩපිළිවෙළක් ඇත. එය ක්‍රියාත්මක කිරීමේ වගකීම මා සතුය. ජනපතිවරයා මට ලබාදුන් වගකීම ඉටු කිරීම මම සැදී පැහැදී සිටිමි.

කාබනික පොහොර ගෙන්වූ සමාගම මට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳ චෝදනාවටද පිළිතුරු දිය යුතුව තිබේ. එය මා හට කිසිසේත්ම සම්බන්ධ සමාගමක් නොවේ. අනිත් කාරණය අප මේ ආකාරයට කාබනික පොහොර නැවක් ගෙනාවේ පළමු වතාවටය. එමෙන්ම පොහොර ගෙන්වීම පිළිබඳ පත් කළ කමිටුවද මා පත් කළ කමිටුවක් නොවේ. එය නම් කළේ කෘෂිකර්ම ඇමැතිවරයාය.

ප්‍රජාතන්ත්‍රවාදය රටක ක්‍රියාත්මක කිරීම සඳහා ඒ රට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තරය කතා කිරීම වැඩකට නැති දෙයකි. අරගලකරුවන් ලෙස කටයුතු කළ බහුතරය කුඩුකාරයන්ය. රස්තියාදුකාරයන්ය. ඔවුන්ට අරමුණක් තිබුණේ නැත. ප්‍රතිපත්තියක් නැත. නායකයෙක් ප්‍රතිපත්තියක් නැත. ඔවුන් උසිගන්වා විනාශ කළේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස නොවේ.

මහජනයාටම අයිති දේපලය. රාජ්‍ය නායකයන් සිටින තැන ගෞරවය එසේ විනාශ විය. නාන තටාක වල බැස සබන් ගාමින් නාමින් ඔවුන් පෙන්වා දුන්නේ මොන තරම් ඊර්ෂ්‍යාවක් කුහකකමක් ඔවුන් තුළ තිබේද යන්නයි. මේ දේවල් ජාත්‍යන්තරයට යනවිට ලොකුම හානිය රටකට සිදුවී හමාරය. අමාරුවෙන් ජිනීවා ගොස් අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

සටහන – අමිල චින්තක ගමගේ

Leave a Reply

Your email address will not be published.