අධිආරක්ෂිත කලාප වෙන්කලේ මේකයි – ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්

රට ස්ථාවරත්වයට පත් වෙමින් ඇති අවස්ථාවක ඊට ඉඩ නොදී මහ ජනතාවට හිරිහැර වන පරිදි විරෝධතා පවත්වනවා නම් ඊට එරෙහිව පොලිසිය නීතිමය පියවර ගන්නා බව අරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන පොලිසියට ඇති බව ත් අවශ්‍ය වුවහොත් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලිසියට සහය දැක්වීමට ආරක්ෂා හමුදා ද සූදානමින් සිටින බව ද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

මේ අතර, අධිආරක්‍ෂිත කලාප නම් කර පසුගිය දා නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අදහස් දකිවීය.

එහිදී ඔහු සඳහන් කළේ, අධිආරක්ෂිත කලාප අද ඊයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඒවා නොවන බව ය.

“මෙය බොහෝ කාලයක සිට යම්කිසි ආකාරයකින් එන තත්ත්වයන් කොටසක් පාලනයට යොදා ගත්ත දේවල්. පසු ගිය කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා. එතන කාර්ය මණ්ඩලයට, රජයේ නිලධාරීන්ට ඒ අයගේ අරජකාරී ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කාර්යාලය ඇතුළටවත් එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉතින් රටේ පාලනය පිළිබඳව තීරණ ගන්න තැනට ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් මහ ජනතාවට ඒකෙන් ලොකු දුෂ්කරතා ඇති වෙනවා. ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. කලින් ඇති වෙච්ච තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි.

ඒ වගේ ම තමයි ජනාධිපති මන්දිරය විදේශවලින් දූත කණ්ඩායම් ආපුවහම, ජනාධිපතිවරයා තානාපතිවරුන් සමග කතා කළේ එම ස්ථානයේ. ඒ අයට එතැනට එන්න බැරි නම්, ඒ අය කොළඹට ආව ගමන් පේන්නේ බොහෝ ම අරාජික, කලබලකාරී තත්ත්වයක් නම් ඒ අයගේ සහය රටේ යම් දියුණුවක් ලබා ගැනීමට, සහයෝගයක් ලබා ගැනීමට විශාල බාධකයක් වෙනවා. ඒ නිසා විශාල කොළඹ නගරය තුළ ඉතා ම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් මගින් අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published.