ජපානයේ සිට ජනපති කජිමාවත්තට සහන දෙයි

තොටළඟ, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක අද (සැප්. 27) පස්වරුවේ හටගත් ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු ම පුද්ගලයින්ට වහා ම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දෙනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් වහා ම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ සියලු ම රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණයන් සිදු කර අද රාත්‍රියේ සි ටම එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාව සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සලසන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, එම සියලු ම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමට ත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමට ත් පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

විශේෂයෙන් ම, මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වී ඇති මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව ද සොයා බලන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරට ත් උපදෙස් දී තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 9ක් අනුයුක්ත කළ බව ය. ඒ අනුව, මේ වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බව එම නිලධාරියා පැවසීය. ඊයේ (සැප්. 27) පස්වරු 7.45ට පමණ ගින්න හටගෙන ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසීය.

ගින්න ඇතිවීමට මෙතෙක් හේතුව අනාවරණ වී නොමැති අතර ගින්නෙන් අවම වශයෙන් නිවාස 50කට හානි සිදුවී තිබේ.

මීට පෙර ද මෙම වසරේ මාර්තු මාසයේ කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක හටගත් ගින්නකින් නිවාස 20කට පමණ හානි සිදු විය. ඒ අනුව, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස ආශ්‍රිතව මෙම වසරේ හටගත් දෙවන ගින්න මෙය වේ.

Leave a Reply

Your email address will not be published.